Saturday, August 13, 2016


සිංහරාජ වන පෙතට ඇවිද යමු





ගාල්ල, කළුතර, රත්නපුර යන දිස්ත්‍රික්ක වලට මායිම්ව  නෙළුව ගම් පියස පිහිටා ඇත්තේ සිංහරාජ වනාන්තරය අද්දරය. මා කුඩා කළ සිට ජීවත් වන ගම නිසාවෙන්ම ලෝක උරුමයක් ලෙස සැලකෙන සිංහරාජ වන පෙත ගැන සටහනක් ලිවීමට සිත් විය.

සිංහරාජය කියන්නේ සිංහයන්ගේ රාජකීය වනපෙත යන අදහසයි. වසර පුරාම පවතින හරිතාවරණ ගුවන සිඹින තුරු වියන් ස්ථරය, බිදුවෙන් බිදුව ගලාවිත් සැකසෙන නිල් කැට බදු ජලය පිරුණු ඇළදොළ, මීවන ශාක සිංහරාජයේ අනන්‍යයතාවය ලොවට හඩගාන ලක්ෂණයන් නිසා එය අපටද ඉතිරිව පවතින රාජකීය සම්පතකි. අපේ රටේ පිහිටා ඇති ස්වභාවික උරුමයන් අතරින් සිංහරාජ වනපෙතට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. තෙත් කළාපයට අයත් සිංහරාජ වනාන්තරය ගාල්ල, මාතර, රත්නපුර හා කළුතර යන දිස්තික්ක හතරට මායිම්ව පිහිටා ඇත.

මින්සා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙස නම් කරන ලද සිංහරාජ වනාන්තරය ජාතික උරුමයක් වන භූමියක් ලෙසට නම් කරන ලදී. රක්වාන කදු පන්තියට අයත් නිම්නයක් වශයෙන් සිංහරාජ වනාන්තරය ප්‍රධාන වශයෙන් පැතිරී ඇත. ගිං ගග හා කළු ගගෙහි ප්‍රධාන ශාඛාවන් ආරම්භ වන්නේ මෙම වන පෙතෙනි.

ප්‍රථමයෙන් සිංහරාජ වනාන්තරය ගැන සටහන් තබන ලද්දේ 1618 දී පෘතුගීසීන් විසිනි. ඉන්පසු ලන්දේසීන්ද සටහන් තබා ඇත. සිංහරාජ වනපෙතට එම නම ලැබුන ආකාරය 1863 දී ජේම්ස් බ්‍රෙන් මෙසේ විග්‍රහ කර ඇත. සිංහයෙක් රාජ කුමාරිකාවක් සරණපාවා ගෙන ගල් ගුහාවකට වී තම අණසක පතුරුවා ඇති බවත් පුරාණයේ සිංහයෙක් තම අණසක පතුරුවමින් ගම්වැසියන් බිය වද්දවමින් සිටි අතර නිර්භීත තරුණයෙකු ඉදිරිපත් වී සිංහයා ගල් ගසා මරා දමා ඇති බවත් ඒ විශාල ගල් ගොඩ අද යෝධ ගලගොඩ වශයෙන් පිළිගැනෙන බවත් ඔහුගේ අදහසයි.

1978 දී ජෛවගෝලීය රක්ෂිතයක් ලෙසද 1988 දී ලෝක උරුමයක් ලෙසද සිංහරාජ වනාන්තරය නම් කරන ලදී. පහතරට තෙත් කළාපයේ නිරිතදිග පෙදෙසේ පිහිටි සිංහරාජයට දකුණු හා සබරගමු පළාත් වලට අයත් හෙක්ටයාර 9000 පමණ ඇතුළත් වෙනවා.ආවේණික මෙන්ම වදවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ව විශේෂ ගණනාවක්ම අයත් සිංහරාජයේ සිටින දුර්ලභ ගණයේ කෘමීන් උරගයන් හා උභය ජීවීන්ද පරිසරවේදීන්ගේ අවධානයට යොමු වී තිබේ. සිංහරාජයේ දැනට සොයාගෙන ඇති ශාක විශේෂ 337 ක් අතුරින් 192 ලංකාවට ආවේණික ශාක වේ. පක්ෂි විශේෂ 21 ක් මීට අමතරව සමනලුන් හා මත්ස්‍යයින් දැක ගත හැකිය.

සිංහරාජ වනාන්තරය මුහුදු මට්ටමේ සිට මීටර් 300 ක පමණ උසින් පිහිටා ඇත. නිරන්තරයෙන් වැසි ලැබෙන වැසි වනාන්තරයක් වන මෙහි රතු කහ කොන්සොයිට් වර්ග වලට අයත් පස දක්නට ලැබේ. හිනිපිටිගල කන්ද මෙහි උසම කන්ද වේ.

හොර, බට නා, කීන, බෙරලිය හා පළු ශාක ඇති අතර ලංකාවටම ආවේණික ශාක වර්ග 13 ක් ඇත.ශාක ස්ථර හතරකින් සමන්විත වන අතර උඩවැඩියා වැනි අපි ශාක ස්ථරයක්ද දක්නට ලැබේ.

දිවියා, කළු වදුරා, දිය බල්ලා වැනි සතුන් මෙන්ම වවුලන් විශේෂ 50 ක් පමණ දැක ගන්නට ලැබේ. බොරු හොල්මන් වවුලාද මේ අතර වේ. පක්ෂීන් වර්ග 126 ඇති අතර ලංකාවටම ආවේණික වර්ග 20 ක් ඇත.උභය ජීවීන් විශේෂ 10 ක් ඇත. කරමල් බෝදිලිමා යක් කටුස්සා ඒ අතර විශේෂ තැනක් ගනී. සර්පයින් වර්ග කීපයක් මෙහි ජීවත් වන අතර පළා පොළගා, දෙපත් නයා, පිඹුරා වැනි සතුන් වේ.ලංකාවටම ආවේණික වූ සර්පයින් විශේෂ 13ක් වේ. ගංගාවල මත්ස්‍ය විශේෂ බහුලව දැකගත හැකිය.

මෙම අතිශය සුන්දර ස්වභාවික සම්පතක් වන සිංහරාජ වනාන්තරයට ඇතුල් විය හැකි ප්‍රධාන මාර්ග 4 ක් ඇත. කලවාන, වැද්දාගල, දෙනියාය හා පල්ලෙගම යනු එම මාර්ගයි. මෙම මාර්ග හතර යොදාගෙන වනයට ඇතුළු වන ඕනෑම කෙනෙකුට එහි ඇති සුන්දරත්වය මෙන්ම පාරසරික වටිනාකම පිළිබදවද තොරතුරු ලබා ගත හැකිය.

සිංහරාජයට නැරඹීමේදී ලොකු කුඩා සියළු දෙනා සිහි තබා ගත යුතු වන්නේ එය කිසිවිටෙක අපවිත්‍ර නොකිරීම හා එහි ඇති ලොකු කුඩා ශාක වලට හා ජීවීන්ට කිසිදු හානියක් නොකිරීමgයි.



                                                                             -ඡායා ලියනගේ-

4 comments: