Wednesday, August 31, 2016



හිමිදිරිය

කිචි බිචිය ඇසෙනා

නාද දෙන විහගුන්ගෙ

දුරලා අදුර අහස් කුස

හිරු කුමරු කෙමෙන් මෝදු වෙන

කඩිමුඩිය ගෙදර දොර

වැඩ කරන ජනතාව

ඇද රෙද්ද පොරවගෙන

මදුරු දැල යට ගුලි වෙලා

හඩයි කම්මැලි සිතක්

පමා වී නාවෙ ඇයි හිමිදිරිය............
                                      -ඡායා ලියනගේ-

Wednesday, August 17, 2016



ලොව වටිනාම තෑග්ගේ කතාව

         මුළු මහත් මානව සංහතියේ ඉදිරි ගමනට උරදෙන මිනිසුන්ට ස්ටොක්හෝම් සහ ඔස්ලෝ  වලදී ලොව වටිනාම තෑග්ග හිමි වෙයි. ඒ නොබෙල් සම්මානයයි. ඇල්ප්‍රඩ් බර්නාඩ් නොබෙල් විසින් විසින් නොබෙල් සම්මානය ආරම්භ කිරීමට පුරෝගාමී වී ඇත. ඔහු උපයාගත් මුදල් වලින් ඩොලර් 9000 000 ක මුදලක් ස්වීඩන් බැංකුවක තැම්පත් කර එම මුදල සදහා වාර්ෂිකව ලැබෙන පොලිය සමාන කොටස් පහකට බෙදා කේෂ්ත්‍ර පහක් තුළ විශිෂ්ටත්වයට පත් ප්‍රවීණයන්ට සම්මාන පිරිනමන ලෙස ඔහු සිය අන්තිම කැමති පත්‍රෙය් ඉල්ලා ඇත. එම කේෂ්ත්‍ර පහ නම් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යව, සාහිත්‍ය හා සාමයයි.
නොබෙල් සම්මානයට අදාල කටයුතු කරන්නේ ස්වීඩන්-නෝර්වේජියානු පදනම විසිනි. 1900 දී පිහිටවනු ලැබූ මෙම ආයතනයේ මූලස්ථානය ස්ටොක්හෝම් නුවර පිහිටා ඇත. නොබෙල් පදනම මගින් නොබෙල් සම්මාන වලට අදාළ ව්‍යවස්ථාවද 1900 ජුනි 29 වැනි දින ප්‍රකාශයට පත් කර ඇත. මෙහිදී සම්මානලාභීන් තෝරා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. එනිසා නිර්නායක කිහිපයක් සැළකිල්ලට ගනු ලබයි. මිය ගිය කිසිම පුද්ගලයෙකු නොබෙල් සම්මානය සදහා නම් නොකෙරේ. එහෙත් නම් කරනු ලැබූ පුද්ගලයා මිය ගිය පසු සම්මානය පිරිනමනු ලබයි. යම් කිසි ක්ෂේත්‍රයක ප්‍රමාණවත් පර්යේෂණ සිදු වී නොමැති නම් එම සම්මානය පුද නොකෙරේ.එසේම ඇගයුමට දායක වන සොයා ගැනීමට දායකයන් කිහිප දෙනෙකු සිටීනම් ප්‍රධානය කරන මුදල සම සේ බෙදී යයි. එහෙත් වරකට එක් ක්ෂේත්‍රයක් සදහා තිදෙනෙකුට වඩා නම් නොකෙරේ. මෙම ක්ෂේත්‍ර  පහට අමතරව 1968 සිට ආර්ථික විද්‍යාව සදහා වන ඇල්ප්‍රඩ්නොබෙල් අනුස්මරණ සම්මානයද පිරිනැමේ.
නොබෙල් සම්මානය සදහා සුදුසු කම් ඇති අයගේ නාම යෝජනා අදාල වසරේ පෙබරවාරි මස පළමුවැනිදාට පෙර නොබෙල් පදනමට ලැබිය යුතුය. එක් එක් විෂයක් වෙනුවෙන් කමිටුව බැගින් කමිටු හයක් පෙබරවාරි 6 වැනිදා රැස් වී කටයුතු කර නොවැම්බර් මස 15 දිනට පෙර සම්මානලාභී නාමාවලිය ප්‍රකාශයට පත් කළ යුතු වේ.
නොබෙල් සම්මානයේ නිර්මාතෘ ඇල්ප්‍රඩ් බර්නාඩ් නොබෙල් 1833 ඔක්තෝබර් 21 ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී උපත ලැබීය. ඔහුගේ පියා වූ එමානුවෙල් නොබෙල්  වෘත්තිය වශයෙන් බෝම්බ නිෂ්පාදනය සිදු කළේය. ඇල්ප්‍රඩ් නොබෙල් ඉපදෙන විට ඔහුගේ පියාගේ අතමිට හිග විය. මේ නිසා 1842 දී එමානුවෙල් නොබෙල් රුසියාව බලා ගමන් කළේ පුපුරණ ද්‍රව්‍ය කොන්ත්‍රාත්තුවක් ලබා දීම සදහාය. රුසියාවේ පීටර්ස්බර්ග් නුවර පදිංචි වූ නොබෙල් පවුලේ අතමිට ක්‍රමයෙන් සරු වන්නට විය. රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබන ඇල්ප්‍රඩ් බර්නාඩ් නොබෙල් වයස 16 දී පමණ රසායන විද්‍යාවට ඇළුම් කරන්නට විය. ඉංග්‍රීසි, රුසියානු, ජර්මන් භාෂා පිළිබදව ප්‍රවීණතාවයක් ලබා ගැනීමටද ඔහු සමත් විය. 1851 දී වැඩිදුර අධ්‍යාපනය සදහා ඇමරිකාවට යන ඔහුගේ ජීවිතයට ජෝන් එරික්සන්  ආලෝකය රැගෙන ආවේය. ක්‍රිමියානු යුද්ධය අවසාන අවසාන වීමත් සමගම නොබල්ගේ පියාගේ අතමිට හිග වන්නට විය. ඒ නිසා අධ්‍යාපන කටයුතු අතරමග නවතා දමන්නට ඔහුට සිදු විය. අනතුරුව ඔහු පියා සමග එක් වී පිපිරුම් ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවේ වැඩ කරන්නට විය.
1859 දී ස්වීඩනයට පැමිණි අල්ප්‍රඩ් නොබෙල් විවිධ පර්යේෂණ කටයුතු වල නිරත විය. ඒ අනුව නයිට්‍රොග්ලිසරින් ද්‍රාවණය ඇසුරින් පිපිරුම් ද්‍රව්‍ය නිපද වන්නට විය. ඔහු පර්යේෂණ කටයුතු සදහා යොදා ගත් කම්හල 1864 දී විනාශ විය. ඔහුගේ සොහොයුරාද ඔහුට අහිමි විය. පිපිරීම නිසා පියා අංග විකල වී මිය ගියේය. ඩයිනමයිට් නම් පුපුරණ ද්‍රව්‍ය ඔහු විසින් නිපදවනු ලැබීය.
1867 දී නොබෙල් තම නිෂ්පාදනය සදහා පේටන්ට් බල පත්‍රය ලබා ගන්නා ලදී. අනතුරුව ඔහුගේ ජීවිතය වෙනස් වන්නට වූ අතර මුදල් විශාල ලෙස ගලා එන්නට විය. ලොව සිදු වන පිපිරීම් සම්බන්ධයෙන් ඔහුගේ ගිණුමට මුදල් ගලා එන්නට විය. මෙම මුදල් එකතු වීමත් සමග ලෝකයේ විනාෂයට ඔහු දායකත්වය ලබා දී ඇති බව ඔහුට අවබෝධ වන්නට විය. එයට වන්දියක් ලෙස ඔහු අපයාගත් මුදලින් ඩොලර් 9000000 ක් ස්වීඩන් බැංකුවක තැම්පත් කර ඉන් ලැබෙන පොලියෙන් ලෝකයට සේවයක් කළ විශිෂ්ටයන් වෙනුවෙන් සම්මාන පිරිනැමිය යුතු බවට සිය අන්තිම කැමති පත්‍රෙය් සදහන් කරන්නට විය.
පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයෙන් ලොකයට කළ විනාශයේ වන්දිය ගෙවන්නට මෙන් මානව සංහතියේ ඉදිරි ගමනට උරදුන් යුග පුරැෂයන් දිරිමත් කිරීමට ඔහු ගත් තීරණය සදාකාලික ඇගයුමට පාත්‍ර වේ.
                                              - ඡායා ලියනෙග් -
  




නමක් දෙන්න.....


හැගෙනවා  හදවතට

කියනවා මම  හදට

දැනෙනවා දුක හොදට....
විසල් වූ ලෝ තලේ

හමු වුණා ....


නොතේරුණි නොහැගුනි
කුමක්දෝ එය කියා..
හැමදාම දකිනවා....
හැමදාම සොයනවා...
නමක් නැති හීනයක්
දැන් මටත් තියෙනවා....

                              -ඡායා  ලියනගේ-




Tuesday, August 16, 2016








රහස
මුළු ‍ලොවම විශ්වයම
දකින මිහිරි සිත්තම
රූබරය නුඔ......

රසවතිය.....හිතවතිය....
කියන් මට කාරණා
හිනෙහන්නට...වැළෙපන්නට..ඔරවන්නට...
රහසක්ද ඒය මොනාලිසා.....

                              - ඡායා ලියනගේ-








හැදුන්ම්පතේ කතාව

            නම, ගම, උපන් දිනය, ලිපිනය වගේ තොරතුරු අඩංගු කරල ඇති කාඩ් පත ජාතික හැදුනුම්පත ලෙස හදුන්වයි.  වයස අවුරුදු 16 සම්පූර්ණ කළ සියළු දෙනා ජාතික හැදුනුම්පත හදා ගැනීම අනිවාර්ය කරුණකි. 1968 අංක 32 දරණ පාර්ලිමේන්තු පනතට අනුව තමා කවුද යන්න තහවුරු කිරීම සදහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ලියවිල්ල හැදුනුම්පත ලෙස අප ලග තබා ගැනීම අනිවාර්ය කරුණකි. නීතිය ඉදිරියේ හෝ වෙන අවශ්‍ය ඕනෑම විටක තමා කවුද යන්න කාට හෝ ඔප්පු කිරීමට අවශ්‍ය වූ විටක හැදුනුම්පත භාවිත කළ හැකිය.
හැදුනුම්පත හදා ගැනීම සදහා උප්පැන්න සහතිකයේ පිටපතක් ලංකාවේ පුරවැසියෙකු බව සනාථ කිරීම සදහා පියාගේ හැදුනුම්පතෙහි පිටපතක් ඡායාරූප තුනක් අවශ්‍ය වනවා. අනතුරුව ග්‍රාමසේවා නිළධාරීතුමා ලග ඇති පෝරමය පුරවා මුද්දරයක් අලවා ප්‍රාදේශීය ලේකම් මාර්ගයෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත තැපැල් කළ යුතුය. එවිට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මාසයක් ඇතුළත හැදුනුම්පත සකසා දෙනු ලබයි.
හැදුනුම්පතෙහි අඩංගු වී ඇති කරණු ලෙස
  • රාජ්‍ය ලාංජනය
  • හැදුනුම්පතෙහි අංකය
  • හැදුනුම්පත අයිති කෙනාගෙ ඡායාරූපය
  • ලියාපදිංචි කළ දිනය
  • කොමසාරිස් තුමාගේ අත්සන
  • 1968 අංක 32 පු.ලි.කි. පනත යන පාඨය
  • අයිතිකරුගේ නම
  • වෙනත් නම්
  • උපන් දිනය , ස්ථානය
  • රැකියාව
  • ස්ථිර පදිංචි ලිපිනය
ජාතික හැදුනුම්පත නැති වූ අවස්ථාවක පොලිසියෙන් ලියවිල්ලක් ගැනීම අවශ්‍ය වේ. අනතුරුව එය ග්‍රාමසේවක මහතා ළගට ගොස් හැදුනුම්පතෙහි අනුපිටපතක් ලබා ගැනීමට අවශ්‍ය අයදුම්පත සම්පූර්ණ කර ඡායාරූප තුනක් සමග යැවිය යුතු වේ. හැදුනුම්පතෙහි අඩංගු විස්තරයන්හි යම් වෙනසක් කිරීමට අවශ්‍ය නම් ග්‍රාමසේවකවරයා ගෙන් සංශෝධන පත්‍රිකාවක් ලබා ගෙන අවශ්‍ය වෙනස්කම් සදහන් කර ඡායාරූප තුනක් සමග පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යැවිය යුතුය. වයස අවුරුදු 16 සම්පූර්ණ වූ ශිෂ්‍ය ශිෂාවන්ට පාසලෙන් හැදුනුම්පත් සාදා දීම සිදු කෙරේ.
ලංකාවේ හැදුනුම්පත භාවිත කරන්නට පටන්ගෙන ඇත්තේ 1972 වසරේදී පමණය. ඊට පෙර ලංකාවට විදේශ රට වලින් යන එන මිනිසුන් හා අපේ රටේ පුරවැසියන් වෙන් කර හදුනා ගැනීමේ ක්‍රමයක් නොතිබුණි.මේ අපහසුතාව මගහරවා ගැනීම සදහා 1968 පාර්ලිමේන්තු පනත මගින් හැදුම්පත අනිවාර්ය කර ඇත. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටුවා එය 1972 ක්‍රියාත්මක කර ඇත.
හැදුනුම්පත වෙනුවට භාවිත කළ හැකි වෙනත් ලියවිලි
  • විදේශ ගමන් බලපත්‍රය
  • විදුහල්පති , ග්‍රාමසේවක සහතික කළ ඡායාරූපයක්
  • තැපැල් හැදුනුම්පත
  • විවිධ ආයතන වලින් නිකුත් කරන හැදුනුම්පත්

අපගේ අනන්‍යතාවය තහවුරු කරන ජාතික හැදුනුම්පත සුරැකිව පරිහරණය කිරීම අප සතු යුතුකමකි.
                                                     -ඡායා ලියනගේ-

Sunday, August 14, 2016



ජන සන්නිවේදනයේ කතාව





මිනිසා විසින් තොරතුරු අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රයාවලිය ජන සන්නිවේදනය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය.මානව ශිෂ්ඨාචාරයේ ආරම්භය ජන සන්නිවේදනය විකාශනයේ ආරම්භය වේ. මානවයා මුල් කා අකුරු හෝ භාෂාවක් භාවිත කර නොමැත. ඔවුන් එකිනෙකා අතර හැගීම් මගින් ඒවාට ප්‍රතිචාර දැක්වීමෙන් සන්නිවේදනය සිදු කර ඇත. අභිනය භාවිතයෙන් තමන්ට සිදු වූ දෙයක් පෙන්වන්නට මානවයා උත්සාහ කර ඇත. බොහෝ අවස්ථාවල දඩයමේ යද්දී තමන් මුහුණ දුන් අත්දැකීම් අභිනයෙන් රග දක්වන්නට ඔවුන් උත්සාහයේ යෙදී ඇත.නාට්‍ය කළාවේ ආරම්භයද මෙයින් සිදු වී ඇතැයි විශ්වාස කරයි. සතුට ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් වශයෙන් අත්පුඩි ගැසීම මුල්ම සන්නිවේදන ක්‍රමයක් ලෙස හදුනාගත හැකිය. අත්පුඩියෙන් නිකුත් වූ ශබ්දය ඔස්සේ කටින් විවිධ ශබ්ද යොදාගෙන මානවයා සන්නිවේදනයේ යෙදී ඇත.

මානවයා භාෂාවක් කතා කරන්නට පෙර විවිධ සංකේත යොදා ගෙන රූප අදින්නට යොමු වී ඇත.ඔවුන් එදිනෙදා දක්නට ලැබෙන දේවල් එනම් මෙම සිතුවම් වල දක්නට ලැබුණු අතර එහි වැඩිපුරම සත්ව රූප ඇතුළත් වුණා. මේ චිත්‍ර වල වර්ණ ගැන්වීම හරහා මානවයා වර්ණ භාවිතයට හුරු වූ ආකාරයද හදුනා ගත හැකිය. ක්‍රි.පූ 20000 දී පමණ ඇල්ටමීරා ගුහාවේ ඇදි සිතුවම් ඉතා පැරණි ගණයේ ලා සැලකෙනවා.

මානවයා භාෂාවක් කතා කිරීමට පටන් ගෙන ඇත්තේ ඉන් අනතුරුවය. භාෂාවක් කතා කිරීමට පටන් ගත් පසු දුරින් සිටින කෙනෙකු වෙත පණිවිඩ යැවීම ඇරඹුනා. එහිදී පණිවිඩය කෙනෙකුට කියා ඔහු මගින් තවකෙනෙකුට යැවීම සිදු වුණා. එය සාර්ථක ක්‍රමයක් නොවුණේ එසේ යවන පණිවිඩය පැටලීම හා මාරු වීම හරහාය.එසේම පණිවිඩය කෑ ගසා දුරින් සිටින අයට කීම ඔහුද කෑ ගසා තවකෙනෙකුට කීමද සිදු වුණා. ඒ සදහා විශාල පිරිසක් අවශ්‍ය වූ නිසා එයද සාර්ථක නොවුණා. හූ හඩ හූව යම් සාර්ථකත්වයක් ඇති සන්නිවේදන ක්‍රමයක් ලෙස සිතිය හැක්කේ එය අදද  යම් යම් අවස්ථා වලදී භාවිත වන නිසාවෙනි. බෙරය සොයා ගැනීම සන්නිවේදනයේ තවත් පැතිකඩක් බවට පත් විය. ක්‍රි.පූ 8000 දී පමණ භාවිත වූ බෙරය හරහා විවිධ ස්වර වලට වැයීමෙන් පණිවිඩය යවනු ලැබුවා. දුම් ගැසීම තවත් සන්නිවේදන ක්‍රමයක් වූ අතර කැලයේ අතරමං වූවන් බොහෝ විට සොයා ගනු ලැබුවේ දුම් ගැසීම හරහාය.

ක්‍රි.පූ 4000-3000 පමණ ලොව පළමු අක්ෂර ක්‍රමය බිහි වුණා.සුමේරියන්වරු විසින් හදුනා ගත් මෙම ක්‍රමය කුනිෆෝර්ම් ලෙස හදුන්වනවා. භාෂාව උපයෝගී කර ගැනීම සිදු වන්නේ මින් අනතුරුවය.මානව භාෂාවේ දියුණුවත් සමග කඩදාසි ලොවට බිහි වූයේය. ජොහැන්ස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම සන්නිවේදනය වේගවත් කිරීමට උපකාරී විය.

පොත් එළි දැක්වීම වේගවත් වීම මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමග සිදු විය. යුරෝපයේ බොහෝ ස්ථානවල පොත් වෙළදසැල් ආරම්භ විය. පුවත්පත සොයා ගැනීම හරහා තොරතුරු දැන ගැනීමේ හැකියාව ලැබුණා.ජෝන් ලොගී බෙයාර්ඩ් විසින් රූපවාහිනිය සොයා ගැනීම සන්නිවේදනයේ තවත් විප්ලවයක් විය.

බෝල් පොයින්ට් පෑන සොයා ගැනීම සමග තින්ත යෙදූ පෑන් වලට වඩා වේගයෙන් ලියකියවිලි කටයුතු කිරීමට පහසු විය.1938 දී හංගේරියානු ජාතික ලැස්ලෝ බ්රෝ විසින් මුල් වරට බෝල් පොයින්ට් පෑන නිර්මාණය කර ඇත.1930 දශකය අග භාගයේදී ෆැක්ස් යන්ත්‍රය භාවිතයට පැමිණේ.

ලෝකය පුරාම තොරතුරු ඉතා වේගයෙන් බෙදා හැරිය හැකි චන්ද්‍රිකා තාක්ෂණය ආතර් සී.ක්ලාක් මහතා විසින් සොයා ගන්නා ලදී. 1944 දී ජෝන් ඒ ඇටනාසොෆ් පළමු වතාවට අර්ධ ඉලෙක්ට්‍රොනික පරිගණකයක් නිර්මානය කරන ලදී. ඉන් පසු නිර්මාණය වූ පරිගණක මගින් වේගවත්ව සන්නිවේදන කටයුතු  සිදු කළ හැකි විය. 1942 දී ඡායා පිටපත් යන්ත්‍රය සන්නිවේදන කේෂ්ත්‍රෙය් තවත් වැදගත් සොයා ගැනීමක් විය.

අන්තර්ජාලය අද වන විට ලොකු කුඩා සිල්ලන්ම පාහේ භාවිත කරන්නකි. සන්නිවේදනයේ දියුණුව සමග අද ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත. නව මාධ්‍යයේ දියුණුව සමග පුවත්පත් කියවීම රූපවාහිනිය නැරඹීම ගුවන්විදුලිය සවන් දීම වැනි කටයුකු නව මාධ්‍ය හරහා ඉටු කර ගැනීමේ හැකියාව ලැබී ඇත.   

ජන සන්නිවේදනයේ කතාව එදා මෙදා කාළය තුළ වෙනස්කම් රැසකට මුහුණ දෙමින්, අදද හෙටද නොකඩවා වර්ධනය වෙමින්, අලුත් දේ එකතු වෙමින් ගලා යන දීර්ඝ විකාශන කතාවකි.



                                                                             -ඡායා ලියනගේ-




Saturday, August 13, 2016




සීට් එක




අද හයට  කොළඹ යන බස් එක ආවෙ ටිකක් පරක්කු වෙලා.තාත්තට වැදල මම බස් එකට ගොඩ වුනේ කොහොම හරි  වාඩි වෙලා යන්න හිතාගෙන. ඉරිද දවසක් නිසා බස් එකේ හොදටම සෙනග වාඩි වෙන්න තියා හිටගෙන යන්නවත් තැනක් නැති තරම්.හිතට ලොකු අසරණ කමක් දැනුනෙ පිටේ දමා ගෙන හිටිය බෑග් එකයි අම්ම ගෙදරින් ලෑස්ති කරල දුන්න බඩු මල්ලයි තියා ගන්න තැනක් නැති වෙන කොට. කොන්දොස්තර මාම මට ලග බහින කෙනෙක්ගෙ සීට් එකක් පෙන්නුව. මම එතනට වෙලා හිටගෙනම ආව.එක එක රැකියා වලට යන මිනිස්සුන්ගෙන් බස් එක පිරිල. බාල තරුණ මහළු හැම නියෝජනයක්ම බස් එකේ... තොරතෝංචියක් නැතුව සමහර මිනිස්සු කියවනව..පොඩි ළමයි අඩන සද්දෙ..උපරිමේටම වැඩි කරල බස් එකේ ඇහෙන සංගීත නාදය..වෙලාවකට මගේ ඔළුව පැලෙන්න වගේ.. සමහරු වාඩි වෙලා නිදි..  සමහරු නැගිටල නිදි..කිසිම හැගීමක් නැතුව ජනේලෙන් පිටත බලා ගෙන යන මිනිස්සු වගේම තරුණ කාන්තාවන්ගෙ ගත දැවටෙන්න උත්සහ කරන  මිනිස්සු දැක්කත් නොදැක්ක වගේ මමත් පාඩුවෙ යනව.

අම්මෝ.. යන්තම් ඇති මතුගමට කිට්ටු වෙන කොට මට සීට් එක ලැබුණ. වාඩි වෙන්න හදන කොටම වගේ අනේ දරුවෝ මට ටිකක් අමාරුයි.. සීට් එක දෙනවද පොඩ්ඩක් දුර වාඩි වෙලා යන්න මං දිහාවට හැරිල හිටගෙන හිටිය මැදි වයසෙ කාන්තාවක් ඉල්ලීමක් කරා. හා ඇන්ටි වාඩි වෙන්න මගෙ ගතට කොච්චර ලොකු මහන්සියක් දැනුණත් ඒ කාන්තාව ගැන අනුකම්පා හිතිල මම එහෙම කීව. කකුල් වලට නම් දැන් හොදටම අමාරුයි.ඒත්ඉතිං මොනව කරන්නද...එහා පැත්තක හිටිය මාම කෙනෙක් මට නැගිටල සීට් එක දුන්න.කියා ගන්න බැරි සතුටකින් මම එතන වාඩි වුණ.

ටික වෙලාවයි මට එහෙම යන්න වුනෙ මේ අම්මට සීට් එකක් දෙන්න..මේ අම්මට සීට් එකක් දෙන්න..කොන්දොස්තර මාමගෙ කට හඩ මගෙ කන හරහා ගියා. දරුවෙක් වඩා ගත් අම්මට සීට් එක නොදී බැරි කමට නැගිටල ඉඩ දුන්න. කොටුවට වෙනකම්ම ආවෙ හිටගෙන. ස්ටේෂන් එක ළග බහින්නත් ඕන. ඉක්මනට පිටේ එල්ලගෙන යන බෑග් එක කරේ දමාගෙන සීට් එක අස්සට එබුනෙ බඩු මල්ල ගන්න. හ්ම්... බඩු මල්ල ඉගිලිල.අන්තිමට සීට් එකත් නෑ..බඩු මල්ලත් නෑ..හිතට කිසි ෆිට් එකකුත් නෑ...

                                                                                           

                                                                                            -ඡායා ලියනගේ-

සිංහරාජ වන පෙතට ඇවිද යමු





ගාල්ල, කළුතර, රත්නපුර යන දිස්ත්‍රික්ක වලට මායිම්ව  නෙළුව ගම් පියස පිහිටා ඇත්තේ සිංහරාජ වනාන්තරය අද්දරය. මා කුඩා කළ සිට ජීවත් වන ගම නිසාවෙන්ම ලෝක උරුමයක් ලෙස සැලකෙන සිංහරාජ වන පෙත ගැන සටහනක් ලිවීමට සිත් විය.

සිංහරාජය කියන්නේ සිංහයන්ගේ රාජකීය වනපෙත යන අදහසයි. වසර පුරාම පවතින හරිතාවරණ ගුවන සිඹින තුරු වියන් ස්ථරය, බිදුවෙන් බිදුව ගලාවිත් සැකසෙන නිල් කැට බදු ජලය පිරුණු ඇළදොළ, මීවන ශාක සිංහරාජයේ අනන්‍යයතාවය ලොවට හඩගාන ලක්ෂණයන් නිසා එය අපටද ඉතිරිව පවතින රාජකීය සම්පතකි. අපේ රටේ පිහිටා ඇති ස්වභාවික උරුමයන් අතරින් සිංහරාජ වනපෙතට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. තෙත් කළාපයට අයත් සිංහරාජ වනාන්තරය ගාල්ල, මාතර, රත්නපුර හා කළුතර යන දිස්තික්ක හතරට මායිම්ව පිහිටා ඇත.

මින්සා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙස නම් කරන ලද සිංහරාජ වනාන්තරය ජාතික උරුමයක් වන භූමියක් ලෙසට නම් කරන ලදී. රක්වාන කදු පන්තියට අයත් නිම්නයක් වශයෙන් සිංහරාජ වනාන්තරය ප්‍රධාන වශයෙන් පැතිරී ඇත. ගිං ගග හා කළු ගගෙහි ප්‍රධාන ශාඛාවන් ආරම්භ වන්නේ මෙම වන පෙතෙනි.

ප්‍රථමයෙන් සිංහරාජ වනාන්තරය ගැන සටහන් තබන ලද්දේ 1618 දී පෘතුගීසීන් විසිනි. ඉන්පසු ලන්දේසීන්ද සටහන් තබා ඇත. සිංහරාජ වනපෙතට එම නම ලැබුන ආකාරය 1863 දී ජේම්ස් බ්‍රෙන් මෙසේ විග්‍රහ කර ඇත. සිංහයෙක් රාජ කුමාරිකාවක් සරණපාවා ගෙන ගල් ගුහාවකට වී තම අණසක පතුරුවා ඇති බවත් පුරාණයේ සිංහයෙක් තම අණසක පතුරුවමින් ගම්වැසියන් බිය වද්දවමින් සිටි අතර නිර්භීත තරුණයෙකු ඉදිරිපත් වී සිංහයා ගල් ගසා මරා දමා ඇති බවත් ඒ විශාල ගල් ගොඩ අද යෝධ ගලගොඩ වශයෙන් පිළිගැනෙන බවත් ඔහුගේ අදහසයි.

1978 දී ජෛවගෝලීය රක්ෂිතයක් ලෙසද 1988 දී ලෝක උරුමයක් ලෙසද සිංහරාජ වනාන්තරය නම් කරන ලදී. පහතරට තෙත් කළාපයේ නිරිතදිග පෙදෙසේ පිහිටි සිංහරාජයට දකුණු හා සබරගමු පළාත් වලට අයත් හෙක්ටයාර 9000 පමණ ඇතුළත් වෙනවා.ආවේණික මෙන්ම වදවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ව විශේෂ ගණනාවක්ම අයත් සිංහරාජයේ සිටින දුර්ලභ ගණයේ කෘමීන් උරගයන් හා උභය ජීවීන්ද පරිසරවේදීන්ගේ අවධානයට යොමු වී තිබේ. සිංහරාජයේ දැනට සොයාගෙන ඇති ශාක විශේෂ 337 ක් අතුරින් 192 ලංකාවට ආවේණික ශාක වේ. පක්ෂි විශේෂ 21 ක් මීට අමතරව සමනලුන් හා මත්ස්‍යයින් දැක ගත හැකිය.

සිංහරාජ වනාන්තරය මුහුදු මට්ටමේ සිට මීටර් 300 ක පමණ උසින් පිහිටා ඇත. නිරන්තරයෙන් වැසි ලැබෙන වැසි වනාන්තරයක් වන මෙහි රතු කහ කොන්සොයිට් වර්ග වලට අයත් පස දක්නට ලැබේ. හිනිපිටිගල කන්ද මෙහි උසම කන්ද වේ.

හොර, බට නා, කීන, බෙරලිය හා පළු ශාක ඇති අතර ලංකාවටම ආවේණික ශාක වර්ග 13 ක් ඇත.ශාක ස්ථර හතරකින් සමන්විත වන අතර උඩවැඩියා වැනි අපි ශාක ස්ථරයක්ද දක්නට ලැබේ.

දිවියා, කළු වදුරා, දිය බල්ලා වැනි සතුන් මෙන්ම වවුලන් විශේෂ 50 ක් පමණ දැක ගන්නට ලැබේ. බොරු හොල්මන් වවුලාද මේ අතර වේ. පක්ෂීන් වර්ග 126 ඇති අතර ලංකාවටම ආවේණික වර්ග 20 ක් ඇත.උභය ජීවීන් විශේෂ 10 ක් ඇත. කරමල් බෝදිලිමා යක් කටුස්සා ඒ අතර විශේෂ තැනක් ගනී. සර්පයින් වර්ග කීපයක් මෙහි ජීවත් වන අතර පළා පොළගා, දෙපත් නයා, පිඹුරා වැනි සතුන් වේ.ලංකාවටම ආවේණික වූ සර්පයින් විශේෂ 13ක් වේ. ගංගාවල මත්ස්‍ය විශේෂ බහුලව දැකගත හැකිය.

මෙම අතිශය සුන්දර ස්වභාවික සම්පතක් වන සිංහරාජ වනාන්තරයට ඇතුල් විය හැකි ප්‍රධාන මාර්ග 4 ක් ඇත. කලවාන, වැද්දාගල, දෙනියාය හා පල්ලෙගම යනු එම මාර්ගයි. මෙම මාර්ග හතර යොදාගෙන වනයට ඇතුළු වන ඕනෑම කෙනෙකුට එහි ඇති සුන්දරත්වය මෙන්ම පාරසරික වටිනාකම පිළිබදවද තොරතුරු ලබා ගත හැකිය.

සිංහරාජයට නැරඹීමේදී ලොකු කුඩා සියළු දෙනා සිහි තබා ගත යුතු වන්නේ එය කිසිවිටෙක අපවිත්‍ර නොකිරීම හා එහි ඇති ලොකු කුඩා ශාක වලට හා ජීවීන්ට කිසිදු හානියක් නොකිරීමgයි.



                                                                             -ඡායා ලියනගේ-

පොල් ගසේ කතාව



        ගාල්ල මුහුදු තීරය අයිනෙන් ඉස්සරහට ඇදෙන  රථය තුළ ඉන්න මට පොල් රුප්පා අතුරින් මුහුද ලස්සනට පේනව. එහාට මෙහාට නැමිල පොල් ගස් මුහුදට ගෙනත් දීල තියෙන සුන්දරත්වය තවත් අපූර්ව වූවක්. මිනිසාගේ ජීවිතයට පොල් ගස කෙතරම් නම් සමීපද? විසිරිලා ගිය සිතුවිලි එකතු කරල මම ඒ ගැන හිතන්න පටන් ගත්ත. 
කප්රුක, මිහිබට සුරතුර ආදී නම් වලින් හැදින්වෙන පොල් ගස හා ලක්වැසියන් අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවකි. පොල් සෞභාග්‍යෙයේ සංකේතයයි. පොල් ගසේ සෑම කොටසකින්ම කෙරෙන කර්මාන්ත මගින් සිය ජීවිත රැක ගන්නා පිරිස බොහෝයලංකාවේ අපනයන බෝග අතර දෙවන ස්ථානය හිමිවන්නේ පොල් කර්මාන්තයටය. ලෝකයේ පොල් නිෂ්පාදනය කරන මලයාසියාව, පැනමා, ඉන්දුනීසියාව, ඉන්දියාව ආදී රටවල් අතර තරගකාරීත්වයට මුහුණ දෙන ශ්‍රී ලංකාව ඉස්තරම් වර්ගයේ පොල් නිෂ්පාදනයට පෙළඹී ඇත. ලොකයේ හොදම කපාපු පොල් නිෂ්පාදනය කෙරෙන්නේද ලංකාවේය.
තාල වර්ගයට අයත් ඝර්මකලාපීය ගසක් වන පොල් ගසට ඉතා දිගු ඉතිහාසයක් පවතී. පොල් සම්භවය වී ඇත්තේ මධ්‍යම ඇමරිකාවේ හා අග්නිදිග ආසියාවේ බව පිළිගැනේ. ලංකාවට පොල් පැමිණ ඇත්තේ නාවිකයන් මගින් හෝ දියවැල් මගිනි. එනම් පොල් ගසේ ගෙඩි මුහුදු දියවැල් ආශ්‍රෙයන් පාවී වෙරළට ගසාගෙන ඒමෙන් අපේ රටේ පොල් ගසේ ආරම්භය සිදුව ඇතැයි විශ්වාස කෙරේ.
පොල් ගසේ ඉතිහාසය සොයා යන විට පැරණි පොත පතෙහි ඒ පිළිබද විවිධාකාර තොරතුරු වාර්තා වේ. දුටුගැමුණු රජ කාලයේ පොල් ගසින් නිෂ්පාදනය කළ ද්‍රව්‍ය පිළිබදවද, දෙවන අග්බෝ රජු පොල් ගසට රාජ්‍ය අනුග්‍රහය ලබා දී පොල් වැවීම ආරම්භ කළ බවද, මහ පැරකුම්බා රජතුමාගේ උයන්වල පොල් වගා කර තිබී ඇති බවද, අනුරාධපුර යුගයේදී මහා රුක් නමින් හැදින් වූ පොල් ගස බොහෝ කළා ශිල්පයන්ටද යොදා ගත් බවද මහාවංශයෙහි දැක්වේ. දඹදෙණි යුගයේ සිට දෙවන පැරකුම් රජතුමා කළුතර සිට බෙන්තර දක්වා පොල් වගා කර එය බලා ගැනීමට දේව පතිරාජ නම් අැමතිවරයෙක් පත් කළ බවද, හතරවන පැරකුම් රජු කාලයේ තොටගමුවේ පොල් ගස් 5000 ක පමණ උයනක් තිබී ඇති බවද චූල වංශයෙහි සදහන් වේ. ජන විශ්වාස අනුවද පොල් පිළිබද විවිධ අදහස් පවතී. එනම් සුර අසුර සටනේදී ගණ දෙවියන්ගේ හිස කැඩී ගොස් පොල් ගෙඩියක් බවට පත්වූ බව අතීත බලි කවි වල සදහන් වේ. අතීතයේ කතරගම දෙවියන්ගේ දෙවොල් නැටුම් වලදී පැමිණෙන පිරිසට කුරුම්බා වතුරින් සංග්‍රහ කර ඇත. විජය රජුගේ කාළයෙහි මෙරට තැඹිලි ගස් තිබී ඇත. අතීතයේ යාගයන්හිදී තැඹිල් භාවිත කළ බවද සදහන් වේ.
ආහාර රසවත් කිරීමට යොදා ගනු ලබන ප්‍රධාන දෙයක් ලෙස පොල් යොදා ගනු ලබයි. ෙපාල් වගාව සදහා බලපාන සාධක ‍ලෙස
  • සෙල්සියස් අංශක 20-27 පමණ උෂ්ණත්වය
  • මිලි මීටර 200-250 පැතිරුණු වර්ෂාපතනය
  • මීටර් 300ට වඩා පහත් බිම්
  • වැලි මිශ් ලුණු පස 
වැනි සාධක පොල් වගාව සදහා යෝග්‍ය වේ. පොල් වගාවට වැළදෙන රෝග ලෙස කදෙන් දියර ගැලීම, ගොබය කුණු වීම, දුඹුරු පුල්ලි රෝගය, ඌනතා රෝග හදුනාගත හැකිය. පොල් වලට බලපාන පළිබෝධකයින් ලෙස කළු කුරුමිණියා, රතු කුරුමිණියා, පොල් කොළ කන දළඹුවන්, වේයන්, මයිටාවන් හදුනාගත හැකිය.  අපේ රටේ පවතින පොල් වර්ග ලෙස උපරැති, නවසි තැඹිලි, ගොන් තැඹිලි, කමදලා, රන් තැඹිලි, බෝදිරි, උස කොළ, කුන්දිරාය. කොළඹ, කුරුණෑගල, හලාවත පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ වේ. ලංකාවේ මුහුදු තීරය ආශ්‍රිතවද පොල් වගාව සිදු වේ.
පොල් ගසෙහි උද්භිත විද්‍යාත්මක නාමය - Cocos nucifera
උප වර්ග - Magnoliophyta
ගෝත්‍රය - Hexandria
කුලය - Palm
ගණය - Cocos
විශේෂය - c.mucifera
පොල් වලින් අපට ලැබෙන ප්‍රයෝජන රැසකි. පොල් ගසේ සෑම කොටසක්ම ප්‍රෙයා්ජනවත් වේ.
පොල් මුල - ඖෂධ සදහා
පොල් කද - පරාල, ලී බඩු
පොල් හනසු, වේළුණු පොල් අතු - දහනය සදහා
පොල් අත්ත - පෙට්ට්, ඉදල්, තොප්පි, පළතුරු බදුන් ආදී නිෂ්පාදන
ගොක් අත්ත - ගොක් කොළ සැරසිලි, ශාන්ති කර්ම අවස්ථා වලදී
පොල් මල - පුන්කලස,රා, හකුරු, විනාකිරි නිෂ්පාදන
                                             පොල් ගෙඩිය
පොල් කටුව ආශ්‍රිත  නිෂ්පාදන
  • බොත්තම්              
  • හැදි
  • ඉන පටි
  • අත් බෑග්
  • පොල් කටු පිටි
  • සක්‍රීය කාබන්
  • විසිතුරු භාණ්ඩ
  • මදුරු දගර
පොල් කෙදි ආශ්‍රිත නිෂ්පාදන
  • බුරුසු නර්ග
  • කොසු
  • පාපිසි
  • ලණු
  • ලනු පැදුරු
මදය ආශ්‍රිත නිෂ්පාදන
  • පොල් කිරි
  • අයිස් ක්‍රීම්
  • කේක්
  • කොප්පරා කැබලි
  • පොල් තෙල්
  • ෂැම්පු
  • බිස්කට්
  • මාගරින්
  • හිස තෙල්
  • පුන්නක්කු
  • තීන්ත
  • රෙදි සෝදන සබන්
  • ඩයි වර්ග
  • පොල් තෙල්
  • ශුද්ධ නොකළ තෙල්

    මෙතරම් ප්‍රෙෙයා්ජන රුසක් සලසන කප්රුකක් බදු පොල් ගස අනාගතය වෙනුවෙන් සුරැකීම අප සතු යුතුකමකි.
                                                             
                                                                                 -ඡායා ලියනගේ-